Wednesday, August 5, 2015

අමතකවුන පරණ ලිපියක් යහ පාලනය සහ මෛත්‍රී පාලනය 2015-01-10-09-42-48

යහ පාලනය සහ මෛත්‍රී පාලනය - රංජිත් වීරසිංහ

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකාවේ විධායක බල සහිත ජනාධිපතිය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තේමා කරගත්තේ  “රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ යන ආකර්ශනීය පාඨයය. සැබවින්ම එය ශ්‍රී ලාංකිකයන් ට ආමන්ත්‍රණය කිරීමට සුදුසු හා ගැලපෙන නිර්මාණයකි. බුදුදහමට අනුව තමන් වෛර නොකරන්නකු බව මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන්ම ප්‍රකාශ කලේ ධම්ම පදයේ එන “නහී වේරේන.... ''යන ගාථා පාඨය  උපුටා දක්වමිනි. තමාගේ නම ඡන්දදායකන්ට සිහිපත් කරන අතරම, ඔහුගේ මැතිවරණ පණිවිඩයද ඒ තුලම ගැබ් කළ ‘රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ ජනතා සිත්සතන් තුළ සෙමෙන් කිදාබසිමින් පවතී. දැන් මැතිවරණය අවසන්ය. අප ජනාධිපතිගේ නම මන්ත්‍රයක් මෙන් මැතිරීමට අවශ්‍යතාවයක් තවදුරටත් නැත, සියළු ශ්‍රී ලංකිකයෝ එය දනිති. එහෙත් රටකට ඕනෑ මෛත්‍රී යුගයක් යන්න අමතක වීමට ඉඩ නොහැරිය යුතුය.
ස්වකිය නාමය නිසා උපන් මෙම වචනය බුදුදහමේ එන මෛත්‍රීය යන්නට සීමාකර ඉදිරියේදී රට පාලනය පටුසිමාවකට කොටුකිරිම ට අවස්ථාවාදීන් මාන බලන බවට දැනටමත් ඉගි පහලවෙමින් ඇත. මෛත්‍රී යුගයක් යන්නෙන් අදහස්‌ කලේ කුමක්දැයි දේශපාලන අර්ථයෙන් විග්‍රහ කරගත යුතුව ඇත. මෛත්‍රීපාල සිරිසේන නම් විධායක ජනාධිපතිට, තම තනතුරට අනුව ජනාධිපති කෙනක් වශයෙන් මෛත්‍රීය පෙන්නුම් කල හැකි අවස්ථා මොනවාදැයි සොයා දැනගැනීමට අපට ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව පරිශීලනය කළහැක. ඔහුට හිරකරුවන්ට මෛත්‍රීයපා නිදහස් කළ හැකිය. එහෙත් ඔහුට නීතිපතිට හෝ අධිකරණය ට අණදීමට හැකියැයි කියවෙන වගන්ති අප ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ තිබෙන බවක් දක්නට නැත. ඔහුට හමුදාවට හා පොලිසියට අණදිය හැක. අපරාධකරුවන් නීතියේ රැහැනට අසුකර ගැනීමට මුලික වන්නේ පොලිසියයි. අපරාධකරුවන් හෝ තෝරාගත් අපරාධකරුවන් අසුකරගැනීම සිදුකරන පරීක්ෂණ නවතා දමන්නැයි කියා ජනාධිපතිට පොලිසියට අණකල හැකිද?. එසේ කළ හොත් එය මෛත්‍රී පාලනයක් වේද?
මෙම මැතිවරණයට පෙරාතුවම මාදොළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ බොහෝ මානවහිමිකම් ක්‍රියාධරයන් යහපාලනයක අවශ්‍යතාව ගැන කරුණු ඉස්මතු කරනලදී. යහපාලනය හා මෛත්‍රී පාලනය අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කරණය වු ක්‍රියාවලි දෙකක් නොවී යහපාලනය මෛත්‍රී පාලනය තුලින් අර්ථවත් වියයුතුය. යහපාලනයට මග අවුරණ කිසිම ක්‍රියාවක් මෛත්‍රීයන වචනයට සිමාවි හෝ මුවාවී නොකළ යුතුය.
අද අප රටේ බොහෝ අපරාධකරුවෝ නිදැල්ලේ සිටිති. සමහර අපරාධ සිදුවෙන ආකාරය රුපවාහිනී තිරය තුලින් අපි සජීවීව දුටිමු. උසාවියෙන් වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයන් පොලිසිය සමග ප්‍රසිද්ධියේ  සිටිනු අපි දැක ඇත්තෙමු. මේවා යහපාලනය ඇති රටක දැකිය නොහැකි කරුණුය. අපරාධකරුවන් ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණ වීම යහපාලනයකට මුලපිරිමකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුහුණදෙන මුලික හා බැරෑරුම් අභියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍යය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමයි. දූෂිත පාලන ක්‍රමයකට පුහුණු කරන ලද බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ට සිය පදවිය නීතියේ සහ සදාචාරයේ සිමා නොතකන ධනය උපයගැනිමට කේවල් කළ හැකි වෙළද භාණ්ඩයකි. මෙවන් මන්ත්‍රීවරුන් සිය ආණ්ඩුවේව්‍යවස්ථා සංශෝධනයට කැමති කර ගැනීමට ගෙවිය යුතු මිල යහ පාලනය විකුණා ලබාගෙන එයට මෛත්‍රී ලේබලය ඇලවිම නොකලයුත්තක් මෙන්ම නොසිදුවිය යුත්තකි .

පෙරමග.....

ආ මග....
දිගය
දුරය
දුෂ්කරය
කටුකය
මිහිරිය
පෙරමග.....
කෙටිය
නොදනිමි වෙන කිසිත්.