Friday, July 8, 2016

වරණ


තණ්හා රඟයි රතී හා රඟා සමගින්
නිවී දිලිසෙන බුබුළු අතරින්
කිරුළ මා ලඟය 
අභිසෙක් කරන්නට රැජිනියක්
වසා සුදු රෙද්දකින් බුලත්කොළ හෙප්පුවක්
පෝලිමට එති උත්තරාවෝ
යතුර මා ලඟය
සිරකරන්නට ඉන් එකෙක්
අඩ අඳුරේ මගේ දොර ළඟ
සෙවණැලි සදයි සිරිමා සමග අම්බපාලිය
මුදල මා ලඟය
මිලදී ගන්නට සිතක්
සුදු ඇදන් උත්තරා හා කතුන් සමගින්
මගේ දරුවන් සිටී කුඩුව ලඟ
කඩුව උඹ ලඟය
සිදීන්නට මගේ ගෙල

Saturday, June 18, 2016

භාවනාව



සුදු කොලය මත
වැටුන කළු තිත
විසල් වී
කළු වළාවක් සේ
දකිමි නොදැක ම
එක සුදු තිතක්
 
කළුවර නුඹකුසේ
නිවී දිලිසෙන
බොහෝ තරු මැද
දකිමි එක තරුවක්
නොදක කළුවර බිඳක්
 
ගෙමිදුලේ පිපි වැනෙනා
බොහෝ මල්පොකුරු මැද
දකිමි එක රතු මලක්
නොදැක නෙක වර්ණයන්
 
වේදිකාවේ සමුහය මැද
ගී ගයන නුඹේ හඬ
අසමි නොඇසී
අන් හඬක්
 
ආනා පාන
දහසක් සුසුම් මැද
එක හුස්මක්
ගැන සිතන්නට
වඩමි මම බවුන්