Friday, May 8, 2026

මගේ ගීතය...

 මගේ ගීතය...
නුඹෙ හඩින්.
ගයන් නේ කවදාද......
මගේ සිතුවම...
නුඹෙ අතින් ...
අඳින්නේ කවදාද.. බලා සිටිනෙමි
අසන්නට මම බලා සිටිනෙමි
නුඹගැයූ බොහෝ ගී... නුඹ මැවූ බොහෝ සිතුවම්... මාත්සර්වයේ ගිනි.. සිතේ දල්වා දවයි මාහද මගේ ගීතය... නුඹෙ හඩින්.. අසන්නට මම බලා සිටිනෙමි ගයන් නේ කවදාද...... මගේ සිතුවම... නුඹෙ අතින් ... අඳින්නේ කවදාද.. බලා සිටිනෙමි

Sunday, June 30, 2019

නුඹේ වූ මගේ කඳුළු


සුසුමක්ව හෙලනු බැරි ලතැවිල්ල
කඳුලක්ව නොගලනා වේදනා
කවියක්ව ඇවිදින් නුඹේ සිත ළඟ
හමා යන ඒ සුසුම්
ගලා යන ඒ කඳුළු.
නුඹේ නොවේ මගේ මැයි.

Friday, July 8, 2016

වරණ


තණ්හා රඟයි රතී හා රඟා සමගින්
නිවී දිලිසෙන බුබුළු අතරින්
කිරුළ මා ලඟය 
අභිසෙක් කරන්නට රැජිනියක්
වසා සුදු රෙද්දකින් බුලත්කොළ හෙප්පුවක්
පෝලිමට එති උත්තරාවෝ
යතුර මා ලඟය
සිරකරන්නට ඉන් එකෙක්
අඩ අඳුරේ මගේ දොර ළඟ
සෙවණැලි සදයි සිරිමා සමග අම්බපාලිය
මුදල මා ලඟය
මිලදී ගන්නට සිතක්
සුදු ඇදන් උත්තරා හා කතුන් සමගින්
මගේ දරුවන් සිටී කුඩුව ලඟ
කඩුව උඹ ලඟය
සිදීන්නට මගේ ගෙල

Saturday, June 18, 2016

භාවනාව



සුදු කොලය මත
වැටුන කළු තිත
විසල් වී
කළු වළාවක් සේ
දකිමි නොදැක ම
එක සුදු තිතක්
 
කළුවර නුඹකුසේ
නිවී දිලිසෙන
බොහෝ තරු මැද
දකිමි එක තරුවක්
නොදක කළුවර බිඳක්
 
ගෙමිදුලේ පිපි වැනෙනා
බොහෝ මල්පොකුරු මැද
දකිමි එක රතු මලක්
නොදැක නෙක වර්ණයන්
 
වේදිකාවේ සමුහය මැද
ගී ගයන නුඹේ හඬ
අසමි නොඇසී
අන් හඬක්
 
ආනා පාන
දහසක් සුසුම් මැද
එක හුස්මක්
ගැන සිතන්නට
වඩමි මම බවුන්
 

Saturday, December 26, 2015

සත්‍යයේ සත්‍යය

සත්‍යයේ සත්‍යය
*****************
නුඹ නොදකින
මා දකින සත්‍යය
නුඹ එලෙසම
මා ගැනද
දකින බව දනිමි.
ඒ බව දත් නුඹට
ගරු කරමි.
නොදත් නුඹ
දිනක එය දකින විට
සතුටුවෙමි.

Wednesday, August 5, 2015

අමතකවුන පරණ ලිපියක් යහ පාලනය සහ මෛත්‍රී පාලනය 2015-01-10-09-42-48

යහ පාලනය සහ මෛත්‍රී පාලනය - රංජිත් වීරසිංහ

මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකාවේ විධායක බල සහිත ජනාධිපතිය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තේමා කරගත්තේ  “රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ යන ආකර්ශනීය පාඨයය. සැබවින්ම එය ශ්‍රී ලාංකිකයන් ට ආමන්ත්‍රණය කිරීමට සුදුසු හා ගැලපෙන නිර්මාණයකි. බුදුදහමට අනුව තමන් වෛර නොකරන්නකු බව මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන්ම ප්‍රකාශ කලේ ධම්ම පදයේ එන “නහී වේරේන.... ''යන ගාථා පාඨය  උපුටා දක්වමිනි. තමාගේ නම ඡන්දදායකන්ට සිහිපත් කරන අතරම, ඔහුගේ මැතිවරණ පණිවිඩයද ඒ තුලම ගැබ් කළ ‘රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ ජනතා සිත්සතන් තුළ සෙමෙන් කිදාබසිමින් පවතී. දැන් මැතිවරණය අවසන්ය. අප ජනාධිපතිගේ නම මන්ත්‍රයක් මෙන් මැතිරීමට අවශ්‍යතාවයක් තවදුරටත් නැත, සියළු ශ්‍රී ලංකිකයෝ එය දනිති. එහෙත් රටකට ඕනෑ මෛත්‍රී යුගයක් යන්න අමතක වීමට ඉඩ නොහැරිය යුතුය.
ස්වකිය නාමය නිසා උපන් මෙම වචනය බුදුදහමේ එන මෛත්‍රීය යන්නට සීමාකර ඉදිරියේදී රට පාලනය පටුසිමාවකට කොටුකිරිම ට අවස්ථාවාදීන් මාන බලන බවට දැනටමත් ඉගි පහලවෙමින් ඇත. මෛත්‍රී යුගයක් යන්නෙන් අදහස්‌ කලේ කුමක්දැයි දේශපාලන අර්ථයෙන් විග්‍රහ කරගත යුතුව ඇත. මෛත්‍රීපාල සිරිසේන නම් විධායක ජනාධිපතිට, තම තනතුරට අනුව ජනාධිපති කෙනක් වශයෙන් මෛත්‍රීය පෙන්නුම් කල හැකි අවස්ථා මොනවාදැයි සොයා දැනගැනීමට අපට ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව පරිශීලනය කළහැක. ඔහුට හිරකරුවන්ට මෛත්‍රීයපා නිදහස් කළ හැකිය. එහෙත් ඔහුට නීතිපතිට හෝ අධිකරණය ට අණදීමට හැකියැයි කියවෙන වගන්ති අප ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ තිබෙන බවක් දක්නට නැත. ඔහුට හමුදාවට හා පොලිසියට අණදිය හැක. අපරාධකරුවන් නීතියේ රැහැනට අසුකර ගැනීමට මුලික වන්නේ පොලිසියයි. අපරාධකරුවන් හෝ තෝරාගත් අපරාධකරුවන් අසුකරගැනීම සිදුකරන පරීක්ෂණ නවතා දමන්නැයි කියා ජනාධිපතිට පොලිසියට අණකල හැකිද?. එසේ කළ හොත් එය මෛත්‍රී පාලනයක් වේද?
මෙම මැතිවරණයට පෙරාතුවම මාදොළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ බොහෝ මානවහිමිකම් ක්‍රියාධරයන් යහපාලනයක අවශ්‍යතාව ගැන කරුණු ඉස්මතු කරනලදී. යහපාලනය හා මෛත්‍රී පාලනය අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කරණය වු ක්‍රියාවලි දෙකක් නොවී යහපාලනය මෛත්‍රී පාලනය තුලින් අර්ථවත් වියයුතුය. යහපාලනයට මග අවුරණ කිසිම ක්‍රියාවක් මෛත්‍රීයන වචනයට සිමාවි හෝ මුවාවී නොකළ යුතුය.
අද අප රටේ බොහෝ අපරාධකරුවෝ නිදැල්ලේ සිටිති. සමහර අපරාධ සිදුවෙන ආකාරය රුපවාහිනී තිරය තුලින් අපි සජීවීව දුටිමු. උසාවියෙන් වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයන් පොලිසිය සමග ප්‍රසිද්ධියේ  සිටිනු අපි දැක ඇත්තෙමු. මේවා යහපාලනය ඇති රටක දැකිය නොහැකි කරුණුය. අපරාධකරුවන් ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණ වීම යහපාලනයකට මුලපිරිමකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුහුණදෙන මුලික හා බැරෑරුම් අභියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍යය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමයි. දූෂිත පාලන ක්‍රමයකට පුහුණු කරන ලද බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ට සිය පදවිය නීතියේ සහ සදාචාරයේ සිමා නොතකන ධනය උපයගැනිමට කේවල් කළ හැකි වෙළද භාණ්ඩයකි. මෙවන් මන්ත්‍රීවරුන් සිය ආණ්ඩුවේව්‍යවස්ථා සංශෝධනයට කැමති කර ගැනීමට ගෙවිය යුතු මිල යහ පාලනය විකුණා ලබාගෙන එයට මෛත්‍රී ලේබලය ඇලවිම නොකලයුත්තක් මෙන්ම නොසිදුවිය යුත්තකි .

පෙරමග.....

ආ මග....
දිගය
දුරය
දුෂ්කරය
කටුකය
මිහිරිය
පෙරමග.....
කෙටිය
නොදනිමි වෙන කිසිත්.

Friday, June 20, 2014

නුඹට නැති නුඹ


නුඹ කෙතේ අස්වැදී
නුඹ පැලේ නොඉදෙනා
බත ඉදෙන මැදුර මුල
ඉඳුල් අයදින නුඹ

නුඹ අතේ කරගැට
තලා  සැදු මාවාතේ
ඉගිලෙනා කුලුහරකන්ට
කානුවේ සිට අත වනන නුඹ

කරෙන් ඔසවා ගොසින්
උඩින් තැබූ මහතුඟක් ලඟ
දනින් වැටී ඉහලයන
සිහිනයක නිදියනා නුඹ

නුඹේ සිප් කිරි උරා බිවු
මුසිලගෙ තාලයට
බොරු පද වයන්නට
සිල්ප අමතක කරන නුඹ

මොක්පුරය දැකගන්න
කෝටියක් සිල් පුරා
දෙවුදත්ගෙ බණ අසා 
නිරය ලඟ සිටින නුඹ

Friday, April 25, 2014

සසර පෙර නිමිති.

දුටුවෙමි මහල්ලෙක්
නොමල දරුවන් සොයා
මහමගේ ඇවිදිනා

 ගිලන්වූ ඇටසැකිල්ලක්
 ජීවකව හමුනොවී
පදුරුමාල්ලක
මැස්සන් හා
කරන සටනක්

 ප්‍රදර්ශනයට තැබූ
හිසෙන් කඳ
 වෙන්වගිය
ගොඩගැසූ මලකඳන්

 සිවුරු පෙරවූ
බමන මුඩුහිස්
මහමගේ අවිදරා
කරන රැඟුමන්

 කලනොකිරි
 මෙසසර
 සිනහසෙන
ඔබ

Sunday, April 20, 2014

හිරගෙදර හා නිදහස

හිරගෙදර හා නිදහස ඕස්ට්‍රේලියවේ සිටින සුදු ජාතිකයන් බහුතරය එංගලන්තයෙන් පිටුවහල් කරනලද හිරකරුවන් ගෙන් පැවත එන්නන් යැයි කීම ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට එතරම් රුස්සන්නේ නැත. ඒ නිසාම ඔවුන් එංගලන්ත ජාතිකයන්ට POMS යැයි කියා ඊට (Prisoner Of Mother England) කියා නිර්වචනය කරන්නට කැමතිය. (Although this meaning is debatable, I love to stick to the meaning. See the link http://www.theguardian.com/notesandqueries/query/0,5753,-59927,00.html.) මවුබිමෙන් පිටුවහල් කරන ලද හෝ මවුබිම හැරගියවුන් මවු බිමේ සිටින්නන් මවුබිම තුල හිරකරුවන් ලෙස දැකීම ඕස්ට්‍රලියාවට හෝ එංගලන්තයට පමණක් සීමා නොකර ලොකයේ සෑම රටකටම විහිදුව හැකි තර්කයකි. ලංකාවටද වලංගුය. සැබෑ හිරගෙය ඇත්තේ තාප්පයෙන් මොන පැත්තේද? ඇතුලත සිටිනවුන් පිටත සිටින්නවුන්ට හිරකරුවන් යැයි කීම තරමක් ගැඹුරින් විමසිය යුතුය. සිරගෙදර ඇතුලත සිටිනවුන්ට කළහැකි නමුත් එලියේ සිටිනවුන්ට කළ නොහැකි බොහෝදෑ ඇත. පැදුරේ සිට බිමට වැටෙන්නට නොහැකි නිසා ඔවුන්ට නිදහසේ කතා කලහැක. සිරගතකර සිටි හිටපු හමුදා නායක ජෙනරාල් සරත් ෆොන්සෙකා මේ තත්වය සිරගෙදර සිටියෙදී ප්‍රොයෝජනයට ගත්තෙකි. සිරගෙදර සිට ඇමති දිසානායකද පොත් ලිවුවේය. දැන් ඔහුට එබඳු පොත්ලිවීමට නොහැක. ලංකාවෙන් පිටත සිට බලනවිට මට බොහෝ ශ්‍රීලංකිකයන් පෙනෙන්නේ POM’s ලා හැටියටය. පිටකරන හැම වචනයකටම දේශපාලන බියක් ආදේශ කරගෙන සිටින ඔවුන් භාශනයේ නිදහස තමන් විසින්ම වලලාගෙන ඇත. නිදහස නැති තැන ඇත්තේ හිරගෙදරකි. දඩුවම දුන් විනිසුරුකරු තමන්ම වී තමා තනාගත් හිරගෙදරක සිටින ඔවුනට ඉන් ගලවීමට උවමනාවක් නැද්ද. නැතහොත් තාප්පයේ අනිත් පැත්ත හිරගෙදර යැයි සිතා සිටිනවාද. තමන් සිරකර ඇතිබව නොදන්නා මගේම සහෝදර/දරියන්යන් ඉන් නිදහස් කරගනීමට නොහැකිබව පෙනී මා ලතවන්නේ මා මගේ අදහස් වල සිරකරුවකු නිසද? මා විඳින නිදහසේ දිග පළල කුඩායැයි නුඹ පැවසුවහොත් ඊට ගරුකිරීමට මම දෙවරක් නොසිතමි. ඒ මම තාප්පයේ මොන පැත්තේ සිටිනවදැයි නොදන්නා නිසාය. මට ලිවීමට නොහැකි යමක් ඔබ ලියන විට, මට සිතීමට නොහැකි යමක් ඔබ සිතනවිට, මට කිරීමට නොහැකි යමක් ඔබකරනවිට මා සිරකරුවකු බව පසක් කර ඉන්මිදීමට ප්‍රත්නයක් දැරීමට තරම් නිදහසක් මට ඇතැයි මම සිතමි. එහෙත් දෙවියන් පය නොගසන තැනක යක්ෂයකු සේ පැමින පිනුම් ගැසීමට මට නිදහසක් කිසිදිනක නොලැබෙනුඇත. [පසුගිය සෙනසුරදා මෙල්බර්න්හි සරණාගතයන් සිරගතකර සිටීමට විරුද්ධ පැවැත්වු පා ගමනේදී සිතට නැගුන අදහසක් Easter නිවාඩුවේ නිදහස බුක්ති විඳිමින් සටහන්කළෙමි.]

Friday, November 15, 2013

පස් මහ බැලුම්

යලිත් ඉපදෙන්න
බලන්නට
පස් මහ බැලුම්
පුහුදුන් මට
නොමැත වරණයක්

නමුදු
පතනෙමි
ඇයම
මගෙ මව් වන්න

එහෙත්
මට නොමැත
වරණයක්

ඇගේ කුලයම
ඒ දීපයම, දේශයම
උරුමවේ මටත්

පතන්නෙමි යලිත්
දීපයක්, දේශයක්
කුලයක් නොමැති කාලයක්

Friday, October 25, 2013

නුඹේ සිනා


ඩොලරයක් වටින්නැති

සියේ කොලයකට ගත්

බඩ ඉරිඟු කරල අග පිපි

නුඹේ සිනා මල්

ලාබ ඇයි මෙතරම්?

Friday, December 10, 2010

මගේ අදහස්

හොරෙන් අරගත් මගේ අදහස්
වේදිකවක් මතට වී ඔබ
දෙසනු ඇසුමෙන් හරසරින්
වැඩේ මා සිත පිළිකුලක්

දහස් ගණනින් එක්ව රැස්වී
නගා ඔල්වර මහ හඬින්
අසනවිට ඒ ඔබේ දෙසුමන්
පුරයි මා සිත සිහින් සතුටක්

සැබෑ කරනට ඔබකිවු දෑ
වීදිබට ඒ ජනී ජනයා
පෙලගැසී යනු දුටුව විටදී
පිරේ මා සිත උද්දාමයෙන්

ඒ පිරිස් මැද නොමැති ඔබ දැක
නසාලන්නට ඔබේ නොපනත්
දවාලන්නට උඹේ බොරු කය
නැගේ මා සිත කෝපයක්

Sunday, November 7, 2010

පාසල

සිරගෙයක් වැසෙයි සිතමින්
පාසලක් අරියි මැතිඳුන්
වට කරන මහා පවුරෙන්
සිරවෙලා සිටියි සිසුවන්

ඇමති ලඟ වැටී දෙදණින්
යැදී බත් පත ඇදුරන්
මතුරැකෙන ශිල්පයම සොයමින්
සිසුන් යැයි ගියමගම ගුරුවන්

ඇවිද පසුපස ගුරුන්
අභිසෙක් ලබයි නිවටුන්
පැලඳු එම කටු ඔටුනින්
පෙලයි සහෝදරදරියන්

අසන පැනයට කෝපයෙන්
නගා වේවැල මහ හඬින්
දෙන ආදර්ශ ගෙන බැතින්
පාලකයකු වන්න උගනින්

Friday, August 13, 2010

සිවනාදන් කියාදුන් පාඩම්

සිවනාදන් යනු මගේ පාසල් සමයේ මිතුරෙකි. මිතුරෙක් යැයි කියූවත් ඔහුටදැන් මා මතක ඈත්දැයි මම නොදනිමි. අඩුමතරමින් ඔහු ජීවතුන් අතර සිටිනවා දැයි හෝ මම නොදනිමි. ඔහුත් මාත් අතර මිත්රත්වය පසලේ දෙවන හා තුන්වන ශ්රේණි වල අවුරුදු දෙකකට සීමාවූ එකකි.
ඒ හෑටේ දශකයේ මැද භාගයයි. රජයේ පාසල් ගුරුවරුන් වූ මගේ මව සහ පියා ස්ථාන මාරුවීම් ලෑබ දිවයිනේ දුෂ්කර පලාත් වල චාරිකා කල කාලයයි. බදුල්ල දිස්ත්රික්කයේ ඉතා දුෂ්කර පාසලක ගුරු නිවසයේ අපි පදින්චිවී සිට්යෙමු. සිවනාදන්, (ඔබසිතුවා හරි ඔහු ද්රවිඩ ජාතියෙක් ) මගේ ලඟින් වාඩි වී එකට සිංහල අකුරු කල එකල මගේ හොඳම මිතුරා, මට බොහෝ දමිල වචන කියාදුනි.
දිනක් ඔහු සෙමින් මගේ කනට කර "ඒයි ඔයාගෙ ප_ය පේනවා කලිසමේ බොත්තම් ගැලවිලා ඉක්මනට ඕක දාගන්න" යැයි කීය. පුරුෂ ලිංඟය ගැන එකල්හි මාදත් එකම සිංහල වචනය වූයේ "චූ එක" යන්න පමණි. පාසැල අවසන්ව ගෙදර ගිය පසු මා උගත් අලුත් දෙමළ වචනයේ ආඩම්බරය අම්මා ඉදිරියේ කියා පෑමට මට උවමනවිය. අම්ම දන්නවද "චූ" එකට දෙමළෙන් කියන්නෙ මොකක්ද කියල... ප_ය කියල මම ආඩම්බරයෙන් කීවෙමි. එහෙත් අම්මා ආඩම්බර වූයේ නැත. ඇගේ නිහඬ බව පිලිබඳ කුකුසෙන්ම මම නිහඬ උනෙමි.
දවසක් පංතියේදී කුඩාවට නවාතිබූ පත්තර කඩදාසි කෑල්ලක් සිවනාදන් සක්කුවෙන් එලියට ගත්තාය. එය දිග අරිමින් මාදෙසට දිගුකලේය. සුදු පාට කුඩු වගයක් එහිවිය. මොනවද මේ මම ඇසීමි. කාල බලන්න ඔහු පිලිතුරු දිනි. මම දිවෙන් එය ලෙවකෑවෙමි සීනි පැනිරසට සමාන රසයක් දිවට දැනිනි. ඔවයෙන් තමයි සීනි බෝල හදන්නෙ ඔහු මට කියාදුනි. මේ ලෝකයේ “icing sugar” කියා රසවත් දෙයක් ඇති බව පමණක් නොව තමන් උකහා ගන්නා රසයන් අන් අය සමග බෙදා ගැනීමේ වටිනාකමද ඔහු මට කියා දුන්නේය.
පාසැල් නිවාඩු කාලයේද ඔහු මා සමග සෙල්ලම් කිරීමට පසැලට පැමිනියේය. මිදුලේ කුඩා වලක් සාරා ඒ මත කුඩා කොටු කැබල්ලක් තබා දිග කෝට්ටකින් විදිනා චක්ගුඩු ක්රීඩාවේ ඔහු කියාදුන් නීති රීති අද මට මතක නැත. එහෙත් “කන්නුනා පට්ටේ” කියා කෑ ගසා අසමින් කුඩා කොටුව ඇස උඩ හෝ කකුලේ ඇඟිලි අතර රුවා පහරදිය යුතුදැයි අසන අන්දම මට කියා දුන් අයුරු මගේ මතකයෙන් කවදා හෝ ගිලිහී නොයේ.
පාසැල් වාර අවසනයේ විවිධ ප්රසංගයට ඉදිරිපත් කරන ලී කෙලි නැටුමේ මගේ සහායකයා සිවනාදන්ය. ඔහුට උඩරට නැටුම් කලාවේ ලී කෙලි මෙන්ම කාවඩිද නැටිය හැක. විවිධ ප්රසංගයට ඔහු ඇතුලු අනෙකුත් ද්රවිඩ සිසුසිසුවියන් ඉදිරිපත් කරන කාවඩි ප්රසංගයට මටද නටන්නට සිවනාදන් අඬගැසූවත් අම්මා එයට හරස්වීම නිසා සිවනාදන් නටන දෙස මම ඊර්ෂාවෙන් බලා සිටියෙමි. සිංහල මාන්නය හා ද්රවිඩ නිරහන්කරය එදා මට නොතේරුන නමුත් අද එය හොද්න් වැටෙහෙන්නේ සිවනාදන්ගේ පාඩම් වලිනි.
එය එම පසෙලෙන් මාරු වී වෙනත් පාසැලකට යන දිනයයි. මිදුලේ නවතා ඇති ලොරියේ ගෙදර බඩු මුට්ටු අසුරමින් සිටිනවිට සිවනාදන් පැමිණියේය. ඔහු සමග ඔහුගේ අම්මාද පැමිණසිටියාය. ඇය එක අතකින් සිවනදන්ගේ නංගී වඩා ගෙන අනෙක් අතින් සිවනාදන් ගේ මල්ලි අල්ලාගෙනෙ ටිකක් ඈතටවී බලා සිට්යාය. මම සිවනාදන් සමග මිදුලේ ඔට්ටු දුවමින් සෙල්ලම් කරමින් සිටියෙමි. අප රැගෙනයාමට පැමිණි කාරයට ගොඩවනවිට මගේ සිතේ තිබූ ඒ ආඩම්බර හැඟීම මටතාම මතකය. සිවනාදන් අහිංසකව අප යනදෙස බලාසිටියාය.
ඕස්ට්රෙලියාවේ මා සමග එකට සේවය කරන සෙල්වා අතුලු ද්රවිඩ මිතුරු මිතුරියන් සමග සැකයෙන් තොරව සුහදව ආශ්රය කිරිමට මට කියාදුන් පාඩම ඔහු ඉගන්නූ සියලු පාඩම් වලට වඩා මට අගනේය.

Saturday, July 3, 2010

ආරම්භයක් පමණයි

සත්‍ය සොයා ගන්න අපි කවුරුත් කැමතියි. ඒත් ඒ සත්‍ය අපට අවාසිනම් අප කැමති නැත්නම් ඒක අසත්‍යයක් කියන්න කරුනු හොයනව එහෙම නැත්නම් ඒ සත්‍ය දිහා නොබල ඉන්නව. ඒත් හිත දන්නවා සත්‍ය මොකද්ද කියලා. හිත එහෙම නැතිනම්
හෘද සාක්ෂිය බලවත් වුනාම සත්‍ය දිහා නොබලන්න මිනිසුන් කරනදේවල් මනොවිද්‍යාවෙ සන්රක්ෂණ ප්‍රයෝග කියල හදුන්වනවා ඒ භියකරු සත්‍යයෙන් මනසට වන හානිය වලක්වන්න හිත ගන්න පුංචි උත්සාහයක්. උදාහරනයක් විදියට මිදි තිත්ත කතාව සන්රක්ෂණ ප්‍රයෝග වලින් එකක්
මගේ මේ උත්සහය ඒ වගෙ සන්රක්ෂණ ප්‍රයෝගයක්ද දන්නෙ නැහැ ජීවිත කලයෙදි මා දැකපු සත්‍ය ඒ අයුරින්ම ලියන්න කරන පුංචි උත්සහයක ආරම්භයක් පමනයි මේ.